රේගු අදිසි හස්තය යළි වැඩ අල්ලයි…. තවත් කන්ටේනර් 06ක් පන්නයි….!

July 28, 2025 at 12:16 pm | by emanisa.lk

ආනයනික ලුණු කන්ටේනර් 400ක් පමණ කොළඹ වරායේ රේගුවේ රඳවා තිබියදී ඉන් ලුණු කන්ටේනර් 06ක් අදිසි හස්තයකින් රේගුවෙන් පිටකර ඇතැයි රේගු අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

2025 ජුනි 10 වැනිදා වන තෙක් නැව්ගත කර තිබූ ලුණු කන්ටේනර් රේගුවෙන් මුදාහැරීමට කටයුතු කරන බව සඳහන් කර තිබුණත් ජුන 12 නැව්ගත කර තිබූ එම කන්ටේනර් 06ක් මෙසේ නිදහස් කර ඇති බව පැවසේ.

ඒ ආකාරයෙන් ජුනි 11,12 යන දිනයන්හිදී නැව්ගත කර තිබූ වෙනත් ව්‍යාපාරිකයන්ගේ කන්ටේනර් තොගයක් රේගුවේ රඳවාගෙන ඉහත කී කන්ටේනර් 06 පමණක් නිදහස් කළේ කෙසේ ද යන්න සොයා බලන ලෙස එම ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටිති.

දැනට රේගුවේ රඳවා තිබෙන ලුණු කන්ටේනර් තොගය මුදා නොහැරීම නිසා දිනෙන් දින ප්‍රමාද ගාස්තු අයවන බවත් ඒ ආකාරයෙන් මාසයක් ගතවී ඇති බවත් එම ආරංචිමාර්ග කීය.

මෙසේ කන්ටේනර් තොගයක් රේගුවේ රඳවා තබා ගැනීමෙන් දින ප්‍රමාද ගාස්තු අයකර විශාල මුදලක් ගෙවීමට සිදු වුවහොත් ව්‍යාපාරිකයන් ඒවා මුදානොගන්නා තත්ත්වයට පත්කර එම කන්ටේනර් රාජ සන්තක කිරීමට ඉඩ ඇතැයි ද එම ආරංචිමාර්ග කීය.

එම කන්ටේනර් රාජසන්තක කළහොත් ඒවා රජය හරහා අලෙවි කිරීමේදී ඉහත කන්ටේනර් 06 මුදාගත් ව්‍යාපාරිකයාම මිලදී ගෙන වෙළෙඳපොළට අලෙවි කිරීමේ උපක්‍රමයක් පවතිනවා දැයි සැකයක් මතුවන බව ද එම ආරංචි මාර්ග අවධාරණය කරයි.

කන්ටේනර් 06 මුදාගත් ආයතන ලුණු ඒකාධිකාරියක් ගොඩනඟා ගෙන ඇති බවත් මේ වන විට හම්බන්තොට ලුණු ලේවාය මගින් ලුණු අස්වැන්න නෙළමින් පවතින නිසා රේගුවේ පවතින කන්ටේනර් තොගය බොහෝ විට රාජසන්තකවීමේ අවදානමක් ඇතැයි ද එම ආරංචි මාර්ග තව දුරටත් පැවසීය.

Divaina

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *