රුසියානු තෙල් අත්පිට මුදලට විතරයි… ගෙවීම් ඩොලර්වලින් බෑ….රූබල් හෝ යුවාන්වලින් විතරයි…!

March 16, 2026 at 11:51 am | by emanisa.lk

රුසියාවෙන් මෙරටට ඉන්ධන නැව් දෙකක් ලබාගැනීම වෙනුවෙන් සිදුකළ යුතු ගෙවීම්, ඇමෙරිකානු ඩොලර් වෙනුවට රුසියානු ‘රූබල්’ හෝ චීන ‘යුවාන්’ මුදලින් සිදුකිරීමට ශ්‍රී ලංකා රජය එකඟතාව පළ කර ඇත.

විදේශ අමාත්‍ය විජිත හේරත් කළ ඉල්ලීමකට අනුව රුසියානු බලධාරීන් දැනුම් දී ඇත්තේ, අදාළ ඉන්ධන තොග ලබාදිය හැක්කේ පූර්ව ගෙවීම් පදනම මත පමණක් බවයි. රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ පවතින තත්ත්වය හමුවේ අදාළ ගෙවීම් ඩොලර්වලින් භාරගත නොහැකි බවයි.

මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත්, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙරට රුසියානු තානාපතිවරයා හමුවී තිබේ.

එම සාකච්ඡාවේදී රුසියානු තානාපතිවරයා පෙන්වා දී ඇත්තේ, මීට පෙර රුසියාව විසින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා කළ ද එය ක්‍රියාත්මක නොවූ බවයි. ශ්‍රී ලංකාව එම යෝජනාවට එදින එකඟ වූයේ නම් වර්තමානයේ පවතින දැඩි බලශක්ති අර්බුදයට මෙලෙස මුහුණ දීමට සිදු නොවන බව ද ඔහු පවසා ඇත.

සාකච්ඡාව අතරතුර තානාපතිවරයා රුසියානු විදේශ අමාත්‍යවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගෙන ඇති අතර, එහිදී විදේශ අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ මේ පිළිබඳව බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලෙසයි.

ඒ අනුව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී, මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළ කර ඇත.

කෙසේ වෙතත්, රුසියාව යෝජනා කළ පරිදි රූබල් හෝ යුවාන්වලින් ගනුදෙනු කිරීමේදී මෙරට බැංකු පද්ධතිය තුළ පවතින තාක්ෂණික පහසුකම් පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ. වාර්තා වන අන්දමට මේ වන විට මෙරට බැංකු පද්ධතිය තුළ රූබල් සහ යුවාන්වලින් සෘජු ගනුදෙනු කිරීමේ පහසුකම් සීමිත මට්ටමක පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *