රිලවුන්ගෙන් වගාබිම් රැකගන්න සාරි අන්දන යෝජනාවක්…!

June 29, 2023 at 5:05 pm | by emanisa.lk

වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම පිළිබඳව මින් පසු තමාගෙන් අහන්න එපා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වන සතුන්ගෙන් වන වගා හානි නිසා රටේ ගොවීන් විඳින දුක කොළඹ සීත කාමරවලට වී ඩොලර්වලින් යැපෙන සත්ත්ව සුබසාධන සංගම්වල මහත්වරුන්ට සහ නෝනලාට තේරෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

රිලවුන් චීනයට නැංවීමේ වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති අමරවීර මේ බව කීය.

මෙරට රිලවුන් චීනයේ සත්වොද්‍යානවලට ලබාදීමේ වැඩපිළිවෙළට එරෙහිව පරිසර සංවිධාන ගෙන ඇති නීති ක්‍රියාමාර්ග නිසා එම වැඩපිළිවෙළ නැවතී ඇති නමුත් චීනයේ පෞද්ගලික සමාගමක් තවමත් එම සතුන් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වී සිටින බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

වගාවන්ට සිදුවන සත්ව හානි වලක්වා ගැනීම සඳහා පරිසර සංවිධානවලට යෝජනා ලබා දෙන ලෙස දැනුම් දුන් විට ගොවිපොළේ සාරි එල්ලීම, ගොවිපොළ වටේ ටකරං බැඳීම, වගා බිමෙන් අක්කර භාගයක් වන සතුන්ට කෑමට ඉතිරි කිරීම ආදී විකාර විසඳුම් ද ලබාදුන් බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

චීනයේ සත්වෝද්‍යානවලට රිලවුන් යැව්වා නම් මිනිසුන්ගේ ආදරය කරුණාව මැද ඔවුන් ජීවත්වන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා, වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් තුවක්කු ඉල්ලන බව ද එවිට සිදුවන්නේ කුමක්දැයි මෙම සත්ව සංවිධාන අවබෝධ කරගෙන තිබේදැයි ප්‍රශ්න කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *