රවී – ශානී තනතුරුවලින් ඉවත් කරන්නේ නෑ… ඔවුන් පාස්කු විමර්ශනයට ඉතා ම සුදුසුයි…! –

October 22, 2024 at 12:58 pm | by emanisa.lk

කිසිදු අවස්ථාවක රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් එම නිලධාරීන් දෙදෙනා අතීතයේ සිට සිදුකළ බවය.

“ජනක ද අල්විස් කොමිසම් වාර්තාවේ කිසි තැනක රවී සෙනෙවිරත්න මහත්මයා ව වරදකරුවෙක් කරලා නෑ. එහෙම තියෙද්දී තමයි හිතා මතා මේ වගේ කමිටු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ නිර්දේශ ඒ විදියටම අපි පිළිගන්නේ නෑ. රජයක් විදියට මේ දේශපාලන වුවමනාවට පත්කරපු විෂමාචාර චෝදනාවලට ලක්වෙච්ච හිටපු මහාධිකරණ විනිසුරුවරියක් විශ්‍රාම ගියාට පස්සේ සම්බන්ධකරගෙන පත්කරපු වික්‍රමසිංහගේ මේ දේශපාලන පළිගැනීමේ ඉලක්ක කරගෙන පිහිටවපු මේ කමිටුව අපි පිළිගන්නේ නෑ.

ඒ නිසා අපි රජයක් විදියට ඉතා වගකීමෙන් යුක්තව මේ සියලුම වාර්තාවල තියෙන කරුණු සහිතව පූර්ණ විමර්ශනයක් සහිත නව පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයෙන් අපි මේ අසාධාරණයට ලක්වෙච්ච වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්නත් මේ රටේ නීතිය ස්ථාපිත කරන්න අවශ්‍ය පියවර ගන්නත් වගකීම් සහගතව කටයුතු කරනවා…මට කියන්න කනගාටුයි මම මේවා කියන්න හිටියේ නෑ.”

ඊයේ මාධ්‍ය හමුවේ විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ. ද අල්විස් කමිටු වාර්තාවේ 40 වැනි පිටුවේ අඩංගු කරුණු උපුටා දක්වමින් ගම්මන්පිල මහතා පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස රවී සෙනෙවිරත්න මහතා නම් කර ඇති බවයි. එබැවින් ඔහුව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව උදය ගම්මන්පිල මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *