මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න 2023 වර්ෂයේ වැල්ලවත්තේදී රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියට අදාල නඩුව විභාග කිරීම සඳහා වෙනත් විනිසුරුවරයෙකු ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.
පසුගියදා මෙම නඩුව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය ඉදිරියේ කැඳවු අවස්ථාවේ සැකකර රවී සෙනවිරත්නගේ නීතිඥවරයා මේ ඉල්ලීම සිදුකර තිබේ.
නීතිඥවරයා මෙම ඉල්ලීම සිදු කර තිබෙන්නේ අදාළ නඩුවේ දෙවන සහ තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය ධාවනය, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉවත් කර, පළමු චෝදනාව වන රිය අනතුරක් වලක්වා නොගැනීම යන චෝදනාව මත පමණක් නඩුකරය පවත්වාගෙන යාම සුදුසු බවට පොලිසිය විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබූ පසුබිමක අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාල චෝදනා තුන යටතේම නඩුව පවත්වාගෙන යෑමට තීරණය කිරීම හේතුවෙනි.
පොලිසිය මීට පෙර නඩු වාරයේදී සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබූ අතර ඒ නීතිපතිවරයා විසින් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර වෙත ලබා දුන් බව කියන උපදෙස් මත ඒ මහතා විසින් වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ලබා දුන් උපදෙස් මත බවද සඳහන් වෙයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත ලිපියක් යොමුකර නීතිපති උපදෙස් ලැබීමෙන් පසුව අදාළ නඩුව එළඹෙන සැප්තැම්බර් 10 යළි කැඳවීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත