මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇති ඡන්ද සලකුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ පළාත් පාලන මැතිවරණය සඳහා ගෑස් සිලින්ඩරය ලකුණු හිමි වූ ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය විසිනි.
ඔවුන් පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණය සඳහා තමන්ට ගෑස් සිලින්ඩරය සලකුණ ලැබුණ ද මෙතෙක් එම මැතිවරණය පවත්වා නොමැති අතර නාම යෝජනා අහෝසි කිරීමක් ද සිදුකර නොමැති බවයි.
ඉදිරියේ දී තමන් එම ලකුණින් තරග වැදීමට ඇප මුදල් තැන්පත් කර ඇති අතර එය තවත් දේශපාලන කණ්ඩායමක් වෙත ලබා දීම ගැටලු සහගත බවයි ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ලේකම් චානක බණ්ඩාර මහතා සඳහන් කළේ.
එහෙයින් මැතිවරණ කොමිසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට පැමිණිල්ලක් ඉදිරිපත් කොට රනිල් වික්‍රමසිංහ වෙත ලබාදී තියෙන ගෑස් සිලින්ඩරය සලකුණ වහාම අහෝසි කරන ලෙස දන්වා ඇති අතර ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ජන අරගල සන්ධානය අවධාරණය කරයි.