පාස්කු ප්‍රහාරය පිළිබඳ චැනල් 04 නාලිකාව විකාශය කළ වැඩසටහන ඔස්සේ හෙළිදරව් වූ කාරණා ගැන කමිටුවක් පත්කොට විමර්ශනයක් කරන බව ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටිය දී ප්‍රකාශ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
ඔවුන් එසේ ප්‍රකාශ කළේ චැනල් 04 වාර්තාව සත්‍ය වී බුද්ධි අංශ නිලධාරීන්ට දඬුවම් කළ හැකිවේ යැයි සිතා වුව ද එස්.අයි. ඉමාම් වාර්තාව ප්‍රසිද්ධියට පත්වුවහොත් එය අසත්‍ය වන බව තහවුරු වන නිසා එම වාර්තාව සැඟවීමට ආණ්ඩුව උත්සාහ කරන බවටයි, ඔහු චෝදනා කළේ.
එසේම මේ රටේ ජනතාව වෙනුවෙන් සිය ජීවිත අනතුරේ දමා ගෙන කටයුතු කළ රණවිරුවන් ජාත්‍යන්තරයට පාවා දුන් ද්‍රෝහියෙකුට සිය ආණ්ඩුව යටතේ රටේ ඉහළම තනතුරක් ලබා දී ඇතැයි හෙළිවෙතැයි බියෙන් ද ආණ්ඩුව මෙලෙස හැසිරෙන බව ගම්මන්පිල සඳහන් කළේය.
දැන් ආණ්ඩුව කළ යුත්තේ තමන්ට පහර ගැසීම නොව රටේ ඉහළ තනතුරක් දැරූ බව පවසමින් මුහුණ වසා ගෙන කටහඬ වෙනස් කර රටේ හමුදාවට එරෙහිව කොටි හිතවාදී චැනල් 04 නාලිකාවට අසත්‍ය ප්‍රකාශ ලබා දුන් පුද්ගලයා කවුදැයි සෙවීම බව ඔහු අවධාරණය කරයි.
එසේම අදාළ පුද්ගලයා මේ වන විට රටේ ඉහළ තනතුරක් දන්නේ නම් ඔහු තනතුරින් පහ කොට දේශද්‍රෝහියෙකු ලෙස නම් කොට දඬුවම් කිරීම ආණ්ඩුවේ වගකීම බව ද ගම්මන්පිල පෙන්වා දෙයි.
අද (28) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන පක්ෂ කාර්යාලයේ දී එස්.අයි. ඉමාම් පාස්කු ප්‍රහාර විමර්ශන වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුව අමතමින් උදය ගම්මන්පිල මේ බව කීය.