ආනයනික සිමෙන්ති කළුකඩ මිලට අලෙවි කිරීම මගින් එක් සිමෙන්ති කොට්ටයකින් රු. 1000/-ක පමණ අධික ලාභයක් ලබන බව රජය විසින් මේ ගැන කරන ලද විශේෂ විමර්ශනයකදී හෙළිදරව් වී ඇත.
මෙහිදී වැඩිදුරටත් හෙළිදරව් වී ඇත්තේ සිමෙන්ති කොට්ටයක් විදේශයකින් ආනයනයේ දී ගෙවීමට සිදුවන්නේ අමෙරිකානු ඩොලර් 5ක පමණ එනම් රු. 1000ක පමණ මිලක් බවය. වාණිජ බැංකුවලින් ඩොලර් නිකුත් කිරීමේ දී ඩොලරයක මිල රු. 205/-ක් පමණය.
පවත්නා අධික සිමෙන්ති මිල ගණන් සාධාරණ මට්ටමකට පත්කිරීම සඳහා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ සිමෙන්ති ආනයනකරුවන් අතර පැවැති විශේෂ සාකච්ඡාවක දී තීරණය වී ඇත්තේ සිමෙන්ති ආනයනකරුවන්ට අවශ්‍ය තරම් සිමෙන්ති ආනයනය සඳහා අවසර ලබා දී තරගකාරී මිලකට සිමෙන්ති අලෙවි කොට මිල ගණන් සාධාරණ මට්ටමකට පත් කිරීමය.