ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වන ඕනෑම බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අමතමින් අවධාරණය කළේය.
අද (08) ආරම්භ වූ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාව වගවීමේ ක්‍රියාවලියට කැපවී සිටින්නේ දේශීය යාන්ත්‍රණයක් හරහා පමණක් බවයි.
මෙම සැසිවාරය සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්තාවට ප්‍රතිචාර දක්වමින්, අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.
මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් වූයේ, ශ්‍රී ලංකා රජය යුද සමයේදී හමුදාව සහ අනෙකුත් ආරක්ෂක අංශ විසින් සිදු කළ බවට කියන බරපතළ මානව හිමිකම් උල්ලංඝන පිළිගැනීමට අසමත් වී ඇති බවයි. එමෙන්ම, යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ජාත්‍යන්තර අධිකරණයට ලබා දෙන රෝම ප්රඥප්තියට අත්සන් තබන ලෙසද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය දැනටමත් ප්‍රතිචාර දක්වා ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ වාර්තාව ඉදිරිපත් කිරීමට පාදක වූ මානව හිමිකම් මණ්ඩලය සම්මත කළ 57/1 දරන යෝජනාව ශ්‍රී ලංකාව පිළිගෙන නොමැති බවයි. එම යෝජනාව යටතේ ක්‍රියාත්මක වන වගවීම් ව්‍යාපෘතියට ශ්‍රී ලංකාව අඛණ්ඩව විරුද්ධත්වය පළ කරන බවත්, එවැනි බාහිර ව්‍යාපෘති දේශීය සංහිඳියා ක්‍රියාවලියට හානිදායක වන බවත් ශ්‍රී ලංකාව පෙන්වා දී ඇත.
මෙම සැසිවාරය ඔක්තෝබර් 08 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර, විජිත හේරත් අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව වාර්තා වෙයි.