රජයේ දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනගන වැඩපිළිවෙළට එමීර් රාජ්‍යෙය් සහාය….!

December 13, 2024 at 9:53 am | by emanisa.lk

දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය එකඟතාව පළ කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (12) පැවති හමුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාව තුළ සිදු කරන ආයෝජන ප්‍රමාණය ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය හා නවීන තාක්ෂණය හඳුන්වා දීමට අදාළව තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ප්‍රකාශ කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැනට ශ්‍රී ලාංකිකයන් 150,000ක් පමණ රැකියාවල නිරත වන අතර එම ප්‍රමාණය වැඩි කිරීමට ඇති අවස්ථාවන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ හය වන විශාලතම අපනයන වෙළෙඳපොළ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර එම අපනයන අවස්ථාවන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට එක්වන ලෙසද ඛලීඩ් නසර් අල් අමේරි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *