“මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි” යනුවෙන් රොබට් නොක්ස් ප්‍රකාශ කළේ රටේ සමස්ත ගොවි ජනතාව අලළා නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ගොවියන් රජවරුන් ලෙස හැඳින්වීම අතීතයේ සිට පැවත එන අසත්‍ය ප්‍රකාශයක් බවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මේ බව කීය.
“රොබට් නොක්ස් සඳහන් කර තිබෙනවා උඩුනුවර සහ යටිනුවර ගොවිතැන් කළ ගොවියෝ, ගොවිතැනින් ඉවත් වී මඩ සෝදාගත් පසු රජ පුටුවේ වාඩි කරවීමට තරම් සුදුසු ඉහළ කුළවල අය බව.
“මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි” කියන ප්‍රසිද්ධ කියමන බිහිවුණේ අන්න ඒ ඓතිහාසික පසුබිම තුළයි. එය රටේ සෑම ප්‍රදේශයකම සිටින සෑම ගොවියෙකුටම අදාළව කියූවක් නොවෙයි”
කාලයත් සමඟ මෙම විශේෂිත නිරීක්ෂණය පොදු ජනප්‍රවාදයක් සහ කියමනක් ලෙස සමාජගත වී ඇති බවත්, ඇමති ලාල්කාන්ත සිය ප්‍රකාශය මගින් අදහස් කරන්නට ඇත්තේ එම ඓතිහාසික සත්‍යය පිළිබඳව විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගොවියාට සමාජය තුළ හිමිවිය යුතු ගෞරවය පිළිබඳව කිසිදු තර්කයක් නොමැති වුවද, මෙවැනි කියමන්වල පවතින සැබෑ ඓතිහාසික අර්ථය වටහා ගැනීම වැදගත් බව ද නලින්ද ජයතිස්ස වැඩි දුරටත් සඳහන් කළේය.