රුසියාව විසින් යුක්රේනයට එරෙහිව යුද ක්‍රියා මාර්ගයකට පිවිසිය ද, තම සංවිධානයේ නීතිරීතිවලට අනුව යුක්රේනයට හමුදා ආධාර දීමට හැකියාවක් නැතැයි නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් ප්‍රකාශ කරයි.
යුරෝපා කලාපයේ සාමය ස්ථාපිත කිරීමට නේටෝ සංවිධානය බැඳී සිටින බව අවධාරණය කරමින් එම සංවිධානයේ මහ ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ පුටින් ගත් යුද ක්‍රියාමාර්ගය සමස්ත යුරෝපයටම බලපානු ඇති බවය. නේටෝ රටවල ආරක්ෂාව සඳහා අමෙරිකාවට අයත් යුද ප්‍රහාරක යානා විසිහතර පැය පුරා යොදවා ඇතැයි ඔහු සඳහන් කර ඇති අතර, ආරක්ෂක සංවිධානයක් ලෙස නේටෝ සංවිධානයට රුසියාව සමඟ ගැටුමකට මැදිහත් වීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව ප්‍රකාශ කරයි.
යුක්රේනයෙන් පලා යන සරණාගතයන් දහස් සංඛ්‍යාවකට සිය රටට ඇතුළු වීමට අවසර දීම පිළිබඳ ඔහු පෝලන්ත ජනාධිපති ඇන්ඩ්රිස් ඩුඩාට ස්තූතිය පිරි නමා තිබේ.
මේ අතර යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට දැඩි බලපෑම් එල්ල කිරීමේ අරමුණින් සම්බාධක රැසක් පැනවීමට කටයුතු කළ ද, රුසියාව සමඟ යුද වැදීමට යුක්රේනයට අමෙරිකානු හමුදාව යැවීමට අදහසක් නැති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබේ.
රුසියානු – යුක්රේන යුද්ධයට යුදමය වශයෙන් මැදිහත් වීමට බලාපොරොත්තු නොවූවත්, නේටෝ සංවිධානයේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි පියවර ගන්නා බවත් ඔහු සඳහන් කර ඇත. රුසියාව බටහිර දෙසින් නේටෝ රටවල් ආක්‍රමණය කිරීමට තීරණය කරන්නේ නම් නේටෝ කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට අමෙරිකාව අවධානය යොමු කරන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
යුක්රේන අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යෑමේ අවදානමක් මතු වීම මැඬ පැවැත්වීමට ඉන්ධන බැරල් මිලියන 30ක් මුදා හැරීමට පියවර ගන්නා බවත් ජෝ බයිඩ්න් කොංග්රස් මණ්ඩලයට දැනුම් දී තිබේ.