මොරටුව ඇතුළු ප්රදේශ රැසක සැරිසරමින් සූක්ෂ්ම ලෙස යතුරුපැදි සොරකමේ යෙදුණු ලාරා නමැති සැකකරු ඇතුළු සොර බඩු ළඟ තබා ගත් බව කියන පුද්ගලයන් පස්දෙනකු සොරාගන්නා ලද යතුරුපැදි අටක් සමඟ පෙරේදා (3) අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය පවසයි.
යතුරුපැදි සොරාගත් අය අතර, මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට කඩලාන කොට්ඨාසයෙන් නාමයෝජනා දුන් ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයෙකු ද සිටින බව පොලිසිය අනාවරණය කරයි.
ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයේ දී ලාරා නමැති යතුරුපැදි හොරකම් කරන සැකකරු චැසි සහ එන්ජින් අංක වෙනස් කරන ලද යතුරුපැදි කොටස් සමඟ අත්අඩංගුවට පත් වූ බව පොලිසිය සඳහන් කරයි.
යතුරුපැදිවල චැසි අංකය සහ එන්ජින් අංකය වෙනස් කරනු ලැබූ බව කියන බව්වා නමැති සැකකරු මේ වන විට ප්රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු සොයා ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිසිය පැවසීය. යතුරුපැදි චැසි අංක වෙනස් කිරීමට භාවිත කරන ආයුධ කට්ටලද ලාරා සතුව තිබී අත්අඩංගුවට ගත් බව සඳහන් කරන පොලිසිය මොවුන් සොරාගන්නා ලද යතුරුපැදි අඩුම රුපියල් 50000/= වැනි මිලට අලෙවි කොට ඇති බවද පැවැසීය.