මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු ලිංගික අල්ලස් ඉල්ලා සිටි බවත් එම ලිංගික අල්ලස බලහත්කාරයෙන් ලබා ගැනීමට බලය අයුතු ලෙස යෙදවීමට උත්සාහ කළ බවත් කියමින් නගර සභාවේ සේවිකාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (24) පැමිණිලි කර තිබේ.
මේ සමබන්ධයෙන් මොරටුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවද එහි සඳහන් කර ඇත.
කාර්යාල ලිපි ලේඛන රාජකාරියේ නිරතව සිටි තමා නගරාධිපතිවරයාගේ ඉල්ලීම හේතුවෙන් දැඩි ලෙස බියකට හා ලැජ්ජාවට මෙන්ම අසරණභාවයට පත්ව සිටින බවද පැමිණිල්ලේ දක්වා තිබේ.
මාස එකහමාරක කාලයක් තිස්සේ වරින් වර ලිංගික අල්ලස් ඉල්ලූ බවත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නගරාධිපතිවරයා තමා සමඟ උරණ වී ඔහුගේ ඡන්ද කොට්ඨාසයේ පිහිටි මාතෘ සායනයකට ස්ථාන මාරු කළ බවත් එහි සඳහන් කර ඇත.
නගරාධිපතිවරයාගේ බලය අයුතු ලෙස භාවිත කර මෙම ස්ථාන මාරුව ලබාදී තිබෙන බවත් ඒ සඳහා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නිර්දේශයක් ලබාගෙන නොමැති බවත් සේවිකාව කියා සිටී.
මෙම පැමිණිල්ලට අදාළ විභාග කටයුතු අද (27) ආරම්භ කළ අතර ඒ සඳහා නගරාධිපතිවරයා මෙන්ම අදාළ නගර සභා සේවිකාව ද පොලිසියට පැමිණ තිබිණි.