මෛත්‍රී රනිල් ගැටුම් උග්‍ර අතට! රාජ්‍ය පාලනය බිඳ වැටෙන ලකුණු!

January 29, 2019 at 3:47 am | by admin

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව අතර පවතින ගැටුම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දක්වා ගමන් කිරීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරුවන් පත්කිරීම හා ස්වාධීන කොමිෂන් සභාවලට සිදුකරන පත්වීම් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානම් තත්ත්වයක් ඇති විය හැකි බව වාර්තා වේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරයට දීපානි විජේසුන්දර මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අවස්ථා දෙකකදීම නිර්දේශ කළද එම අවස්ථා දෙකේදීම එම නම ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පියවර ගෙන තිබේ.

මීට මාස 2කට පමණ ඉහතදීද ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේ අග්‍රවිනිශ්චයකාර ධුරයට තමා යෝජනා කළ නම් කිහිපයක්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කළ බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරන්නේ තමන් කැමැති නම පැමිණෙන තුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජනාධිපතිතුමා යෝජනා කර එවන්න නම් ප්‍රතික්ෂේප කරන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරන්නේ එහි කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව සිදුකරගෙන යන බවයි. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ කියා සිටිති.

පක්ෂග්‍රාහීව ක්‍රියාකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට නම් විපක්ෂ නායකගේ නියෝජිත හා අගමැති සහ විපක්ෂ නායක එකඟත්වයෙන් පත්කරනු ලබන නියෝජිතයන් පස්දෙනා අලුතින් පත්කළ යුතු බව වඩාත්ම සදාචාර සම්පන්න ක්‍රියාවලිය බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයෝ පෙන්වා දෙති. නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ විපක්ෂ නායක වෙනස් වූ පමණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වෙනස් නොවන බවයි. එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි පැහැදිලිව සඳහන් වන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ නමුත් මෙම තත්ත්වය අනුව ජනාධිපති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අතර පවතින ගැටුම තවදුරටත් වර්ධනය වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරුවන් පත්කිරීම හා ස්වාධීන කොමිෂන් සභාවලට සිදුකරන පත්වීම් දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇතිවීමට හැකි බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු
මව්බිම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස