රජය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා සිය අප්‍රසාදය පළ කරති.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක, අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ධම්මරතන මහානායක හිමිපාණන් පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ හරහා රට නිරාගමික රාජ්‍යයක් කරා ගෙන යාමේ අවදානමක් පවතින බවය.
පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අස්ගිරි සහ මල්වතු මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා බැහැදැක මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අන්තර්ගතය පිළිබඳව උන්වහන්සේලා දැනුම්වත් කිරීමට කටයුතු කළ අවස්ථාවේ මේ බව පැවසූහ.
අස්ගිරි පාර්ශ්වයේ මහානාහිමි සඳහන් කළේ මෙවැනි බරපතළ සංශෝධන සිදු කළ ද මහානායක හිමිවරුන් සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.
‘මේ හදන්නේ නිරාගමික රටක් හදන්යි. මේ රට කනවා. මේවට ඉඩ දෙන්න හොඳ නෑ. අපි දැක්කෙත් නෑ. අපි දන්නෙත් නෑ”යැයි උන්වහන්සේ දැඩිව අවධාරණය කළහ.
අනතුරුව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මල්වතු මහා විහාරයට වැඩම කර මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ දැනුම්වත් කළහ.
එහිදී මල්වතු මහානායක හිමියන් පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සියලුම නිකායන්හි මහනායක හිමිවරු දැනුම්වත් කළ යුතු බවය. මෙය පිලිබදව මහනාමිවරු සිව් දෙනාගේම අත්සන් ලිපියක් නිකුත් කරන බවද උන්වහන්සේ පැවසූහ.