මෙම අසීරු අවස්ථාවේ විපතට පත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම වෙනුවෙන් සියලු දෙනා එක්ව කඩිනමින් කටයුතු කිරීමට මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පක්ෂ විපක්ෂ සියලු දෙනාගෙන ඉල්ලා සිටියේය.
ඒ, ඊයේ (28) පෙරවරුවේ ත්‍රිවිධ හමුදා මුලස්ථානයේ පැවති පක්ෂ විපක්ෂ නියෝජිත රැස්වීමේදීය.
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් එම සාකච්ජාව කැඳවා තිබුණි.
පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ පවතින තත්ත්වය පිළිබඳව එහිදී ජනාධිපතිවරයා විසින් සියලු දෙනා දැනුම්වත් කර ඇත.
දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශ්‍යතාව පරිදි වැය කිරීමට දැනටමත් මුදල් නිදහස් කර තිබෙන බවත්, කිසිදු චක්‍රලේඛයක් එම මුදල් වැය කිරීමට බාධාවක් ඇති නොකරන බවත්, එසේ බාධාවක් වන අවස්ථාවන් තිබේ නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ එකඟතාව ඇතිව එම මුදල් වැය කිරීමට දැනුම් දී තිබෙන බවත් එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.