කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඥානය ලබන්නේ සමාජ සරසවියෙන් බව කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන හිමි පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පිළිගැනීම උදෙසා පැවති “යතිවර හරසර” උත්සවයට එක්වෙමින් (11) එහිමියෝ මේ බව සඳහන් කළහ.
“මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ මහා තෙරනමක්. මම හොඳට හඳුනනවා මුරුත්තෙට්ටුවේ නායක හාමුදුරුවෝ.හිමිදිරියට අවදි වන නායක හාමුදුරුවෝ පළමුව ස්නානය කරලා, තෙරුවන් නමස්කාරය කරල එතැන් පටන් උන්වහන්සේ මැදියම නින්දට යනතුරුම මුවින් පිටවන සෑම වචනයක්ම, සෑම ක්‍රියාකාරකමක්ම, උන්වහන්සේගේ සෑම චින්තන ධාරාවක්ම මේ සමාජය සුවපත් කිරීමේ උදාර මෙහෙවරේ යෙදුනේ.
මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ඥානය ලබන්නේ සමාජ සරසවියෙන්, උන්වහන්සේ ඥානය ලබන්නේ ජීවිත පාසලින් , උන්වහන්සේ ඥානය ලබන්නේ අත්දැකීම් බහුල සමාජයක අප්‍රමාණ මෙහෙවර කිරීමෙන්. අත්දැකීම්වලින් ලද පන්නරයෙන් උන්වහන්සේ ලැබූ ඥානය උත්තරීතර මානව දයාවෙන් බැබලුණා.”