බේරුවල ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු අපේක්ෂකයෙකුට අයත් බව කියන ප්‍රකට අවන්හලක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ ලේබල් රහිත ආහාර තොගයක් අත්අඩංගුවට ගැනීමට බේරුවල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සමත්ව ඇතැයි වාර්තා වෙයි.
මහ ජනතාවගෙන් ලද රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම හදිසි වැටලීම සිදු කර ඇත.
පරීක්ෂාවට ලක් කළ අවන්හලේ තිබී අත්අඩංගුවට ගත් ආහාර ද්‍රව්‍ය අතර මස්, අයිස්ක්‍රීම්, කොත්තු සහ බැදපු ඉස්සන් වැනි දෑ අක්‍රමවත් ලෙස සහ සෞඛ්‍යාරක්ෂිත නොවන පරිදි ශීතකරණ තුළ ගබඩා කර තිබූ බව වාර්තා වේ.
විශේෂයෙන්ම පිසූ ආහාර සහ අමු මස් වර්ග එකම ස්ථානයක බහා තිබීම වැනි බරපතළ සෞඛ්‍ය අවදානම් එහිදී නිරීක්ෂණය වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී බේරුවල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒ. කුසුම්සිරි පවසා ඇත්තේ, අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකාරීත්වය දේශපාලන වශයෙන් කාහට අයත් වූවද, මහජන සෞඛ්‍යය අනතුරේ හෙළන ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.
අත්අඩංගුවට ගත් අහිතකර ආහාර ද්‍රව්‍ය පිළිබඳ වාර්තාවක් සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් දැනටමත් පියවර ගෙන ඇත. ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් මෙවැනි වැටලීම් ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.