සිය පක්ෂයේ අයෙක් නම් හොරෙක් වුවත් තමන් රකින බව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් සුරවීර අවධාරණය කරයි.
අකුරැස්ස ප්‍රාදේශීය සභාව සතු දේපළක් වන ඇල්බීසියා ගසක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සභාවේ මතු වූ උණුසුම් සංවාදයකදී සභාපතිවරයා මේ බව කීය.
අකුරැස්ස ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක තිබූ සභාවට අයත් ඇල්බීසියා ගසක් හොරෙන් කපා ගැනීම පිළිබඳ මන්ත්‍රීවරයෙකු සභාපතිවරයාගෙන් විමසා සිටියේ ඒ සඳහා ලිඛිත අවසරයක් ලබා දුන්නේ කවුරුන්ද, එම ඉල්ලීම කළේ දහම් පාසලේ උප ප්‍රධානාචාර්යවරයාද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම එම දහම් පාසලේ ස්වාමීන් වහන්සේ නමකගෙන් ලැබුණු බවත් යම් ගැටලුවක් පවතින්නේ නම් පොලිසියට පැමිණිලි කරන ලෙසත්, ඒ අවස්ථාවේදී අවශ්‍ය ලිපි ලේඛන තමා ඉදිරිපත් කරන බවත්ය.
සභාවේ දේපළක් අස්ථානගත වී ඇති බැවින් එහි භාරකරු ලෙස සභාපතිවරයා විසින්ම පොලිස් පැමිණිල්ල සිදු කළ යුතු බවට එහිදී මන්ත්‍රීවරයා තර්ක කළ අතර සභාපති සමන් සුරවීර කියා සිටියේ, “අපි පැමිණිලි දාන්න ඕනේ නෑ. මට විරුද්ධව පැමිණිල්ල දාන්න ගහ හම්බෙලා නැහැ කියලා. එතකොට මට දෙන දඬුවමක් දෙයි.” කියාය.
ඒ අවස්ථාවේ මන්ත්‍රීවරයා “හොරු රකින්න එපා” යනුවෙන් එම පුද්ගලයා කළ ඉල්ලීමට සභාපතිවරයා ලබාදුන් පිළිතුර වූයේ, “හොරු රකින්නේ නැහැ. මම රකින්නේ පක්ෂේ මිනිස්සු. හොරා වුණත් පක්ෂේ මිනිහා නම් අපි රකිනවා.” යන්නයි.