මාලිමාවෙන් පිරෙන පාර්ලිමේන්තුවේ කතානායක බිමල්…!

November 16, 2024 at 9:56 am | by emanisa.lk

10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඔහු මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටියේ ජාජබ ජාතික ලැයිස්තුව හරහා ය.

2001 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ බිමල් රත්නායක මහතා අනතුරුව වාර තුනකදී පාර්ලිමේන්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු කටයුතු සහ සම්ප්‍රදායන් පිළිබඳ දීර්ඝ සහ පුළුල් අවබෝධයක් සහ අත්දැකීම් ලබාගත් අයෙකි.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2004 – 2005 සමයේ කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ ද බිමල් රත්නායක මහතා ය.

එමෙන්ම ඒ මහතා පක්ෂයේ කටයුතු වෙනුවෙන් විදෙස් දේශපාලන පක්ෂ සහ රාජ්‍යතාන්ත්‍රිකයින් සමග දීර්ඝ කාලයක් තිස්සේ ගනුදෙනු කරමින් එම අත්දැකීම්වලින් ද පරිපූර්ණ වූ දේශපාලනඥයෙකි. ඔහුගේ බිරිඳ වන සමන්මලි ගුණසිංහ මෙවර ජාතික ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කොට ජයග්‍රහණය කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *