වසර එකහමාරකට පෙර ‘රනිල් මෝදි හොර වහා ගිවිසුම හෙළි කරනු!’ යනුවෙන් රට පුරා විරෝධතා පෝස්ටර් ගැසූ ජාතික ජනබලවේගය බලයට පැමිණ හොර ගිවිසුම් හතක් ගසා ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (25) සිය පක්ෂ මූලස්ථානයේ දී එම ගිවිසුම් අතර ඇති ගිවිසුම් දෙකක් රට හමුවේ තබමිනි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තෙල් නළයක් එළීම සහ තිරිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට ද ශ්‍රී ලංකා ඉන්දීය විදුලි පද්ධති එකතු කිරීමට ද එමගින් එකඟ වී ඇති බව ගම්මන්පිල ප්‍රකාශ කරයි.
එහි දී ඉංගිරිසි භාෂාවෙන් පමණක් ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමේ මෙතෙක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින් ඉංගිරිසි, හින්දි සහ අරාබි භාෂාවලින් ද එම ගිවිසුම් අත්සන් කර ඇතැයි ද හින්දි සහ අරාබි භාෂා මෙම ගිවිසුම් අත්සන් කළ ලංකාවේ කණ්ඩායම දන්නවා දැයි ඔහු ප්‍රශ්න කරයි.
මේ වන විට දෙරට අතර අර්බුදයක් නිසා පාකිස්ථානයේ ජල සැපයුම අත්හිටුවා ඇති ඉන්දියාව එවැනි අවස්ථාවක විදුලිය සහ ඉන්ධන සැපයුමට බාධා කරමින් ලංකාවට ග්‍රහණයට ගැනීමට කටයුතු නොකරනු ඇතැයි විශ්වාස කළ හැකි දැයි උදය ගම්මන්පිල විමසයි.