2024 සැප්තැම්බර් මස එක්සත් ජනපද ඩොලර් මිලියන 5,994 ක් ලෙසින් වාර්තා වී තිබූ නිල සංචිත වත්කම් ප්රමාණය 2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,467 ක් දක්වා වර්ධනය වී ඇත.
මෙය 7.9% ක කැපීපෙනෙන ඉහළ යාමක් වන අතර එය ඩොලර් බිලියන 6 සීමාව පසු කළේ 2020 වසරට පසු ප්රථම වතාවටය.
නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 6,383 ක් දක්වා 7.3%කින් ඉහළ ගොස් තිබේ. 2024 සැප්තැම්බර් මාසයේ දී මෙම අගය වාර්තා වී තිබුණේ ඩොලර් මිලියන 5,949 ක් ලෙසිනි. මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වෙයි.
මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය ඔක්තෝබර් මාසය තුළ ඩොලර් මිලියන 42ක් දක්වා 5.8% කින් වැඩී වී තිබේ.
මෙලෙස ශ්රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්රමාණය ඩොලර් බිලියන 6 ඉක්මවූ අගයයක් වාර්තා වී ඇත්තේ 2020 සැප්තැම්බර් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි.