වර්තමාන ජාතික ජන බලවේග රජයට ඇති ජනතා පක්ෂපාතිත්වය ඉතාම තාවකාලික අස්ථාවර එකක් බව කොළඹ විශ්විද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.
එම අස්ථාවර ඡන්ද පදනම පවත්වාගෙන යාමට නම් ආණ්ඩුව විශාල වශයෙන් එම ජනතාවගේ අපේක්ෂාවන් සමග සිටිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.
එ් අනුව මහින්ද රාජපක්ෂ කළ ආකාරයටම දරුවන් වඩා ගැනීම, බදාගැනීම ආදී කටයුතු අද අනුර දිසානායක ජනාධිපතිවරයා ද සිදු කරන නමුත් එමගින් පමණක් දිගටම යා නොහැකි බව ද මහාචාර්ය දේවසිරි පෙන්වා දෙයි.
තාවකාලිකව එවන් ක්‍රියාවලි හරහා ජනතාව රදවා ගත හැකි නමුත් ජනතාව බඩ සහ සාක්කුව ගැන හිතන බවද ඔහු කියා සිටියි.
දැන් ආණ්ඩුව හමුවේ ඇති අභියෝග වැඩි බවත් මැති ඇමතිවරුන් වාහනවලින් යෑම ආදිය විවේචනය ඔස්සේ ජාතික ජන බලවේගය විසින්ම සිය බාර් එක උස්සා ගැනීම නිසා ජනතාව දැන් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වාහනවල යෑම ප්‍රශ්න කිරීමට වගකිව යුත්තේ ද එම පක්ෂයම බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැඩි දුරටත් සඳහන් කරයි.
දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.