ජාතික ජන බලවේග ආණ්ඩුව ලද ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණය සඳහා සුබ පැතුම් එකතු කරමින් කැනඩා දෙමළ කොංග්‍රසය ජනාධිපති අනුර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබේ.
ඔවුන් එමගින් ඉල්ලා ඇත්තේ විනිවිදභාවයෙන් යුතු වගකීම්සහගත ආණ්ඩුවක් පිහිටුවා ප්‍රතිපත්ති ප්රකාශනය මගින් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙසයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කොට දෙමළ ජනතාව ඇතුළු සියලු ජන කොටස්වල අයිතිවාසිකම් සුරැකෙන නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම සඳහා මාලිමාණ්ඩුවට ඓතිහාසික අවස්ථාවක් ලැබී ඇති බව ද එමගින් පෙන්වා දෙයි.
කැනේඩියානු දෙමළ කොංග්‍රසය එම ලිපිය මගින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ආරක්ෂක අංශ යටතේ ඇති උතුරේ ඉඩම් නැවත ජනතාවට ලබා දීම, උතුරේ ජනතාවගේ ආගමික අයිතිවාසිකම් ආරක්ෂා කරමින් එහි සිදුකරන බෞද්ධ ආගමික ඉදිකිරීම් නවතා දැමීම, නව ව්‍යවස්ථාව ගෙන එන තුරු 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.