සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සහයක නිලධාරියෙකුට රත්නපුර දිස්ත්රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් පහර දුන් බවට එම පොලිස් නිලධාරියා චෝදනා කරයි.
ඊයේ (20) රාත්රියේ කළ මෙම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්රතිකාර ලබමින් සිටියි.
පසුගියදා සූරියකන්ද පොලිසිය මගින් සිදුකළ ගංජා වැටලීමට මෙම පහරකෑමට ලක්ව සිටි පොලිස් නිලධාරියා ද සහභාගී වී ඇත. අදාළ ගංජා වැටලීම සිදුකර ඇත්තේ මෙම පහරදීම සිදුකළ මන්ත්රීවරයාගේ මාමාණ්ඩියට අයත් ඉඩමක බව වාර්තා වෙයි.
මන්ත්රීවරයා සහ තවත් පිරිසක් වාහනයකින් පැමිණ තමන්ට “තෝ මරනවා” යනුවෙන් ප්රකාශ කරමින් පහරදුන් බව පොලිස් නිලධාරියා සඳහන් කර ඇත. එමෙන්ම ජාතික ජනබලවේග මන්ත්රී ශාන්ත පද්මකුමාර මෙම පොලිස් නිලධාරියා සම්බන්ධව පොලීසියට පැමිණිලි කර ඇති බව ද වාර්තා වේ.
සූරියකන්ද පොලීසිය මගින් පසුගිය 16 දා සවස සූරියකන්ද බුලුතොට, වැලිආර ප්රදේශයේ ශාන්ත පද්ම කුමාරගේ බිරිඳගේ පියාට අයත් බව පැවසෙන මෙම ඉඩමේ මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟු වගාවක් තුළ වගා කර තිබූ අඩි එකහමාර සහ අඩියක ප්රමාණයේ ගංජා පැළ සමග එම ප්රදේශයේම විසිහතර හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබිණි.
ගංජා පැළ සමඟ ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයේ අතිරේක මහේත්රාත් දිලුම් යූ. ප්රනාන්දු මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට රුපියල් තුන්දහසක දඩයක් අධිකරණය විසින් නියම කරනු ලැබීය.