මාදූෂ්ට එරෙහිව කිසිම නඩුවක් නෑ! මත් ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සාක්ෂිත් නෑ! – ශ්‍රී ලංකා පොලිසිය

February 12, 2019 at 10:26 am | by admin

මාකඳුරේ මධුෂ් නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් කිසිදු නඩුවක් මෙරට නොමැති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මධුෂ් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුවද ඔහු එම ජාවාරම්වල නිරත වූ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‍ෂියක් මේ වනතුරුත් හමුවී නැති බව එම ආරංචි මාර්ග කියා සිටියි.

පොලිසිය පවසන්නේ මාකඳුරේ මධුෂ් මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නිරත වී සිටියේ ඩුබායි දේශයේ වීම නිසා හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් මෙරට පොලිසියට කිසිම අවස්ථාවක මොහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවයි.

මේ අතර මිනීමැරුම් සම්බන්ධයෙන්ද මාකඳුරේ මධුෂ්ට එරෙහිව සාක්‍ෂි සහිතව චෝදනා එල්ල වී තිබෙන්නේ දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය කිරීම සහ කළුතර බන්ධනාගාර බස් රථයකදී රණාලේ සමයා ඇතුළු හය දෙනකු ඝාතනය සම්බන්ධයෙන් පමණි.

එහෙත් ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය වෙද්දී මධුෂ් මීගමුව බන්ධනාගාරයේ සිටි අතර සමයා ඇතුළු පිරිස ඝාතනය වෙද්දී මොහු සිට ඇත්තේ ඩුබායි දේශයේ බවද පොලිසිය පවසයි.

පසුගිය කාලයේ රටේ සිදුවූ බොහෝ අපරාධ මෙන්ම හෙරොයින් ජාවාරම් පිටුපස මධුෂ් සිටියද ඒ කිසිවක් සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් මොහුට එරෙහිව නොමැති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස