මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට නීත්‍යානුකූල අයිතියක් ඇති බවත්, ඒ සඳහා කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකි බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, වී මිලදී ගැනීමේ ක්‍රියාවලියට රජය නිසි පරිදි මැදිහත් නොවන අවස්ථාවලදී පමණක් ගැටලු පැන නගින බවයි.
කෙසේ වුවද, වත්මන් රජය වී මිලදී ගැනීමේ කටයුතු ඉතා සක්‍රීයව සිදුකරන බැවින් එවැනි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
දැනට රජය විසින් නියම කර ඇති මිල ගණන් යටතේ වී මිලදී ගැනීම් සිදු කෙරෙන බව සඳහන් කළ ඇමතිවරයා, මෙම ස්ථාවර මිල ගණන් යටතේ වී මිලදී ගැනීම හේතුවෙන් ගොවීන්ට සාධාරණ මිලක් හිමිවන බවත්, වගා පිරිවැය පහත වැටීම හේතුවෙන් මෙවර වී ගොවීන් සතුටින් පසුවන බවත් පෙන්වා දෙයි.
වී මිල පහත වැටී ඇති බවටත්, රජය වී මිලදී ගැනීමට අපොහොසත් වී ඇති බවටත් විපක්ෂය නගන චෝදනා පදනම් විරහිත බව පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කළේය.