මහ ඡන්දෙන් මාලිමාවට බහුතරය ලැබිය යුතුයි…! – ගම්මන්පිල…

September 28, 2024 at 11:12 am | by emanisa.lk

ඉදිරි මහා මැතිවරණයේ දී මාලිමාවට සරළ බහුතරය හිමිවිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

“මම කියන්නේ මාලිමාවට සරළ බහුතරය ලැබිය යුතුයි. අපි දැක්කා ලංකා ඉතිහාසයේ විනාශයන් සිදුවුණේ තුනෙන් දෙකක බලයක් තිබුණ ආණ්ඩුවලට. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණා 1970. ප්‍රතිඵලය ආසන 08ට වැටිලා අවුරුදු 17ක් විපක්ෂයේ හිටියා.

දෙවනුව ජේ.ආර්.ජයවර්ධන මහත්තයට තුනෙන් දෙකක බලයක් ලැබුණා ප්‍රතිඵලය ඒ ආණ්ඩුව පරාජයට පත්වූ දවසේ සිට අද දක්වා ජනතා වරමින් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් පත්කර ගන්න බැරි වෙලා තිබෙනවා.

ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයට තුනෙන් දෙකක් ලැබුණා. ප්‍රතිඵලය ලංකා ඉතිහාසයේ වැඩිම සංවර්ධනයක් කරපු කොටි ත්‍රස්තවාදය පරාජය කරපු ජනාධිපතිතුමාට තමන්ගේම ලේකම්ට පැරදිලා ගෙදර යන්න වුණා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තුනෙන් දෙකක බලයක් ලැබුණා. ප්‍රතිඵලය ජනතාව විසින් පලවා හරින තැනට තල්ලු වුණා. ඒ නිසා තුනෙන් දෙකක බලයක් කියන්නේ ආලෝකය පතුරන ආලෝකය විසින් බලය තියෙන කෙනා දවා අළු කරන ගිනිගුලියක්.

කිසිවෙකුට හෝ රට හදන්න නම් තුනෙන් දෙකක බලයක් හිමි නොවිය යුතුයි. මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ යෝධ සංවර්ධනයක් කළේ කොටි ත්‍රස්තවාදය පරාජය කළේ තුනෙන් දෙකක තියා දෙකෙන් එකක්වත් පාර්ලිමේන්තුවේ නැතුව.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *