මහින්දගේ විජේරාම නිල නිවස හොරු අල්ලන CIDයට….!

September 4, 2025 at 9:43 am | by Namal

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට භාවිත කරන කොළඹ, විජේරාම නිල නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රයෝජනය සඳහා ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

පසුගියදා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම කරුණ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සලකා බලා තිබේ.

රජය විසින් නුදුරේදීම සම්මත කර ගැනීමට අපේක්ෂිත, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ නව පනත් කෙටුම්පත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට හිමි විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු සෙසු සියලු වරප්‍රසාද සහ පහසුකම් අහෝසි වනු ඇත.

පාර්ලිමේන්තුවට දැනටමත් ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව නුදුරේදීම කතානායකවරයා වෙත ලැබීමට නියමිතව පවතී.

මේ අතර, අදාළ පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව තමන් විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්ව යන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මහින්ද රාජපක්ෂ මහතාට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම නිල නිවසේ පදිංචිව සිටි අතර ඊටත් පෙර අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින් එය භාවිත කර ඇත.

පොලිස් මූලස්ථානයට ආසන්නයේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක මේ වන විට පවත්වාගෙන යනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, එහි පවතින ප්‍රමාණවත් නොවන පහසුකම් හේතුවෙන් දැඩි මෙහෙයුම් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බව සඳහන් වේ.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි වර්ග අඩි 20,000ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම නිල නිවස සහ එයට අයත් ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 336කට ආසන්න බවත්, එහි මාසික කුලී වටිනාකම රුපියල් ලක්ෂ 46ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේය. එම නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා රජය විසින් රුපියල් කෝටි හතරක මුදලක් වැය කර ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *