මහා පරිමාණ ගල්අඟුරු වංචාව වසා ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා නොරොච්චෝලේ බලාගාරයේ ඉංජිනේරුවන්ට විවිධ දීමනා ලෙස කප්පම් ලබා දෙමින් බලාගාරය පවත්වාගෙන යාමට දැඩි උත්සාහයක නිරත වන බව ලංවිම කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ චෝදනා කරයි.
අමාත්‍යවරයා මේ දිනවල නොරොච්චෝලේ බලාගාරය ආශ්‍රිත ප්‍රදේශයේ රැඳී සිටිමින් විදුලි ඉංජිනේරුවන්ට මෙම දීමනා ලබා දීමට කටයුතු කරන බවත්, එවැනි ක්‍රියා මගින් සිදු කර ඇති මහා පරිමාණ ගල්අඟුරු වංචාව වසා දැමිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
දැනටමත් දිවයින පුරා රහසිගතව අභ්‍යන්තරික විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව හෙළි කළ ඒ මහතා, ජනතාව නොමග නොයවා අවම වශයෙන් දැන් හෝ විධිමත් විදුලි කප්පාදුවක් ආරම්භ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.
පවතින මෙම අර්බුදකාරී තත්ත්වය සහ වැරදි කළමනාකරණය හේතුවෙන් ඉදිරියේදී විදුලි බිල 125% කින් පමණ ඉහළ දැමීමට රජයට සිදුවනු ඇති බවට ද ඔහු අනතුරු ඇඟවීමක් කළේය.
ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කළ ඒ මහතා , ගල්අඟුරු “කාලා බලලා” ගෙනාවේ නැතත් එහි සිදුව ඇති දූෂණයන් දත්ත මගින් ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ප්‍රකාශ කළේය.
ඉතිහාසය පුරාවට වෘත්තීය සමිති ලබාදුන් තාක්ෂණික උපදෙස් නොසලකා හැරීම නිසා අද වන විට රට මෙවැනි බරපතළ ඉරණමකට මුහුණ දී ඇති බවද හෙතෙම පැවසීය .
මෙම ක්‍රියාවලියට සම්බන්ධ උපදේශකයෙකු ලෙස පත් කර ඇති නිරෝෂන් හැඩිගල්ලට රුපියල් ලක්ෂ පහක මාසික දීමනාවක් ගෙවීම පිළිබඳව ද කෝසල අබේසිංහ සිය විරෝධය පළ කළේය.
“ඔබතුමාට තිබුණේ ඔය ලක්ෂ පහ සඳහා තමයි මම මෙච්චර සටනක් කළේ කියලා කෙලින් කියන්න. එහෙමනම් විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ගාලු මුවදොර ඉදිරිපිට පාත්තරයක් තියලා ඔය මුදල මාසයක් ගානේ එකතු කරලා දෙනවා,” යැයි ඔහු උපහාසාත්මකව පවසා සිටියේය.
බලශක්ති ක්ෂේත්‍රය තුළ පවතින මෙම ව්‍යාකූල තත්ත්වය හමුවේ ආණ්ඩුවේ “දූෂණ විරෝධී” ප්‍රතිපත්තිය දැඩි ප්‍රශ්න කිරීමකට ලක්ව ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
LankaCnews