ගොවියා ගැන තමා කෙතරම් ආණ්ඩුව සමග කතා කළ ද ආණ්ඩුව ඇහුම්කන් නොදෙන බවත් කෘෂිකර්ම ඇමති නියරක යන්ඩ දන්න කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. තමාගේ ආණ්ඩුවක් යටතේ ගොවියට මෙතරම් ප්‍රශ්න ඇති වන්නට ඉඩ නොතබන බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.
බකමූණ නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයක යෙදී සිටින ගොවීන් හමුවීමට අද (31) එහි ගිය හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
මොරගහකන්ද සහ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් ඒකාබද්ධව ගොවිතැනට රසායනිකක පොහොර ලබා දෙන ලෙසට බලපළකරමින් ඉකුත් 24 වැනිදා අඛණ්ඩව උපවාසයක් ආරම්භ කළේය.
ගොවීන් හමුවූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.
මම කීප වතාවක්ම කෘෂිකර්ම ඇමතිවරයා සමඟ ගොවියාගේ පොහොර ප්රශ්නය පිළිබඳව සාකච්ඡා කළා. නමුත් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. යම් යම් රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර එල්ල කරනවා. ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න නිසා මම කිව්වා පොළොන්නරුවට යන්න විදිහක් නෑ කියලා කිවුවා. ඒක පදනම් කර කරගෙන තමයි ඒ රාජ්‍ය අමාත්‍යවරුන් මට මඩ ප්‍රහාර ගහන්නේ. ඒවා මම ගණන් ගන්නේ නැහැ.
ගොවියකු මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්. නැවත බලයට පත්වුවහොත්වී ගොවීන් වෙනුවෙන් කුමක් කරන්නේද ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ, තමා ගොවීන් අමාරුවේ නොදමන බවත්, කාබනික පොහොර භාවිතයෙන් ක්‍රමානුකූලව වගා කිරීමට ගොවියා හුරු කරවන බවත් ය.
ලෝකයේ කිසිදු රටක සීයට සීයක් කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් නොකරන බව ද ඕස්ට්‍රේලියාව පවා වගා කටයුතු කරන්නේ කාබනික පොහොරවලින් සීයට 50කින් පමණ බව ද හිටපු ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.
තමා ගොවීන් වෙනුවෙන් පෙනී සිටියේ 1980 දශකයේ සිට පමණ බවත් ගොවීන් වෙනුවෙන්, ගොවීන් වස බී මැරෙන අවස්ථාවක තමා ගොවි ජනතාව බේරාගැනීමට පොළොන්නරුව නගරයේ උද්ඝෝෂණය කරමින් පළමු වරට මිනීපෙට්ටිවලට පවා කර ගැසූ බව ද හිටපු ජනාධිපති සිරිසේන සඳහන් කළේය.