මත්ද්‍රව්‍ය නම් මායාකාරී කුණාටුවෙන් සමාජය මුදා ගන්නවා…! – ජනපති…

October 30, 2025 at 4:46 pm | by emanisa.lk

සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“දරුවා බිහිවෙන මොහොත් අම්මා තාත්තාගේ විශාල බලාපොරොත්තුවක් පොඳි බැඳුණා. හැබැයි තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ දරුවා විනාශයට පත්වෙමින් තිබෙනවා. අම්මා විශාල වේදනාවකට ලක්වෙමින් සමාජයෙන් කොන්වෙමින් තිබෙනවා.

අපිට මත්ද්‍රව්‍ය කිලෝ 800 – 900 හම්බවෙනවා. අපි තේරුම් ගන්න ඕනේ එන ඔක්කෝම අපි අල්ලලා නෑ. අල්ලනවා නම් එන්නේ නෑ. මේ නිසා ඔවුන් දන්නවා මේ අල්ලන ප්‍රමාණය එන ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ සපයන ප්‍රමාණය මොන තරම් විශාලත්වයක් ඇත්ද කියා. කිලෝ 800 කෝටි 1500කට විකිණෙනවා. ඒ නිසා විශාල මුදල් ප්‍රමාණයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගිලා. එක විට මහා කළු ව්‍යාපාර ගොඩනඟන ජාවාරමක් බවට මේ ව්‍යවසනය පත්වෙලා. ඔවුන් අතර මෙම වෙළෙඳපොළ බෙදාගැනීමට ගැටුම් නිර්මාණය වෙලා. මෑත කාලයේ වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර සිදුවීම්. තැන තැන වෙඩි තැබීම් සිදුවෙලා තියෙනවා. මේ සියල්ල මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් සිදුවෙලා. ඒ තරම් වෙඩි උණ්ඩ, ගිනිඅවි, වෙඩිතැබීමේ ආරක්ෂාව කොහොමද නිර්මාණය වුණේ ? රටක ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. හැබෑමට සිදුව ඇත්තේ ඔවුන් සතුව ඇති මූල්‍යමය බලය මත රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කරලා. ඒ නිසා තවදුරටත් මේ තත්ත්වය සඟවමින් මේ තත්ත්වයට මුහුණදෙන්න බෑ.

ඔවුන් අත ගිනිඅවි සැරිසරනවා. ඔවුන් ගිනිඅවි නිෂ්පාදකයෝ නෙමෙයි. බලපත්‍ර සහිත ගිනිඅවි ගැනීමේ බලය තියෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සතු ගිනිඅවි ඔවුන් අතට ගියේ කොහොමද ? දැනට වාර්තා වුණා සමහර හමුදා කඳවුරුවලින් ටී 56 ගිනිඅවි 73ක් ඒ අය අතට ගිහින්. එයින් 35ක් අත්අඩංගුවට අරන් 38ක් ඔවුන් අත සැරිසරනවා. රජය සතු ආයුධ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උණ්ඩ අපි අත්අඩංගුවට ගත්තා.හමුදාවේ ප්‍රධාන කර්නල්වරයෙක් උණ්ඩ සපයලා තියෙනවා. ඒ වෙනුවට බැංකුවට මුදල් ඇවිත් තියෙනවා. රජය සතු ගිනිඅවි පොලීසියේ මහත්තයෙක් විකුණලා පලායනවා. ගිනිඅවි විකුණනවා. සන්නද්ධ කණ්ඩායම් සතු මුදල් බලය අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගිලගැනීමට සමත් වෙලා.

මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය මඟින් පිහිටවනු ලැබූ රාජ්‍ය විතරයි. කළු රාජ්‍ය විනාශ කරනවා. මෙතැනින් නතර වෙන්නේ නෑ. මෙය වර්ධනය වෙමින් ඇත්තේ කොතැන ද? දැන් දේශපාලන පක්ෂ ඇතුළට එනවා, මන්ත්‍රීවරු එනවා, සභාපතිවරු එනවා. වෙනම ලැයිස්තු හදලා ඡන්දවලට ඉදිරිපත් වෙලා දේශපාලන යාන්ත්‍රණයක් වෙලා. එක යුගයක දී එය දේශපාලනයේ ආරක්ෂාව. දැන් දේශපාලන ආධිපත්‍ය. ආණ්ඩුවක් පිහිටුවා ගැනීම දක්වා බීජ ව්‍යාප්ත වෙලා. මෙය දිගු කාලයක් පුරා දේශපාලන ආශිර්වාදය මත සිදුවන්නක්.

අපේ රටේ නොවිසිඳුණු හැම අපරාධයක් පසුපසම දේශපාලන ආරක්ෂාව තියෙනවා. එය පොලීසියේ අදක්ෂතාවය නොවේ. මම එකක් කියන්නම් ඔවුන්ගේ පළමු බලය දේශපාලන බලය දැන් අවසන් කර අවසන්. පොලීසිය කරන කාර්ය ගැන ඉතාම පැහැදීමෙන් ඉන්නේ. සමහර අය බයයි. අදත් සමහර අපරාධකරුවන් බන්ධනාගාර තුළ ඉඳලා මෙම ජාවාරම මෙහෙයවනවා. එහෙම කරන ගමන් ලයිව් බලාගෙන ඉන්නවා. මෑත කාලයේ වැලිගම සිද්ධිය. සමහරු බයෙන් ඉන්නවා. සමහරු සල්ලිවලට අහුවෙලා ඉන්නවා. අද ශ්‍රී ලංකා පොලීසිය ඒ අවදානම අරගෙන මේ මෙහෙයුම දියත් කිරීමට බැඳී සිටිනවා.පොලීසිය අපරාධකරුවාගේ සතුරා බවට පත්වෙනවා. තවත් ඉදිරියේ දී විවේචනයට ලක්වෙන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ඉන්නවා.

මම හිතනවා අපි ඔක්කෝම එකට එකතු වෙන්න ඕන වෙලාව මේක,රට එකට. මේ ව්‍යවසනයට එරෙහිව තනි තනිව පුද්ගලයෙකුට මොනතරම් බලාපොරොත්තුවක් තිබුණත් බෑ. රජයට පමණක් බෑ. පොලීසියට පමණක් බෑ. රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් බෑ. සියලුදෙනා එකතු වෙන්න ඕනේ. මේක තමා අවස්ථාව. අවසන් වශයෙන් ලොල්වුණ අයටයි, විකුණන අයටයි කියන්නේ, වහාම ඉවත්වෙමු. ඊට එරෙහි ප්‍රබලතම ව්‍යාපාරය ගොඩනඟමින් පවතිනවා. අනිවාර්යයෙන්ම මේ මායාකාරී කුණාටුව විනාශ කරනවා. මේ මායාකාරී කුණාටුවෙන් අපේ දරුවන්, සමාජය නිදහස් කරගන්නවා. මේ මායාකාරී කුණාටුවෙන් ජාතිය ගලවා ගන්නවා. ඒ වෙනුවෙන් අපි එකට එකතු වෙමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස