මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධ සඳහා ඇතැම් රාජ්‍ය ආයතනවල සහාය ලැබී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී රත්නපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එකතු වෙමිනි.
එම තත්ත්වය මුළුමනින්ම අවසන් නොකොට රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කර ඇත්තේ රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවයි.
එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් මෙම මූල්‍ය වර්ෂයට වෙන් කළ ප්‍රතිපාදන නැවත භාණ්ඩාගාරයට හරවා නොයැවීමට වගබලා ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දී ඇත.
එකම ව්‍යාපෘතිය වෙනුවෙන් නැවත නැවත මුදල් වෙන් කිරිමට සිදු වීමෙන් නව ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උද්ගත වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පවසා ඇත.
පසුගිය කාලයේදී රජයේ ව්‍යාපෘති ලෙස ඉදිකිරීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇතත්, එහි ශක්‍යතාව සහ නඩත්තුව සම්බන්ධයෙන් නිසි ඇගයුමක් සිදු නොකිරීම නිසා, එමගින් රජයට අමතර වැය බරක් එකතු වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
එලෙස, ඉදිකර තිබෙන හම්බන්තොට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය, අනුරාධපුර ශ්‍රවණාගාරය වැනි ගොඩනැගිලි ගණනාවක නඩත්තුව දරා ගත නොහැකි වීම හේතුවෙන් ඒවා භාර ගැනීමට ආයතනයක් නොමැති තත්ත්වයට පත්ව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
රජයෙන් ඉදිකරන ලද සංචාරක බංගලා, තානායම්, පොදු වෙළෙඳ පරිශ්‍ර වැනි ගොඩනැගිලි පාළු අඳුරු ස්ථාන බවට පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවැනි ආයතන පෞද්ගලික අංශයේ කළමනාකාරීත්වය යටතේ පවත්වාගෙන යාම වර්තමානයට වඩාත් ගැළපෙන ක්‍රමවේදය බවද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.