බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබද්දි සීනි සමාගමෙන් බිලියන 2.5ක ලාභයක්…!

May 10, 2023 at 5:23 pm | by emanisa.lk

රටේ බහුතර රාජ්‍ය ආයතන පාඩු ලබන විට ලංකා සීනි සමාගම ලාභ ලබන, සේවක සුභ සාධනය සිදුකරන, මහ ජනතාවට පිහිට වෙන ආයතනයක් බවට පත්ව ඇතැයි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

“ලංකා සීනි සමාගම මොනරාලගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ හදවත. දීර්ඝ කාලයක් තිස්සේ දුක් කම්කටොළු මැද උක් වගාව ඉතා ම දුෂ්කර විදියට කරගෙන මේ පළාතේ ජිවත්වෙන ජනතාවට ආර්ථිකමය වශයෙන් යම් සහනයක් ලැබුණේ මෙම කර්මාන්ත ශාලා ආරම්භ කිරීමෙන් පසුවයි. එය වඩාත් විධිමත් වන්නට පටන් ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේවා රජයට පවරා ගැනීම සහ ඉන් පසු ඇති වූ දියුණුවත් සමගයි.

එහි පරිවර්තනීය යුගයක් 2019 පසු නැවත ඇති වුණා. ඒ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙරට නිෂ්පාදනයට හැකිව තිබු භාණ්ඩ රාශියක් ආනයනය තහනම් කිරීමත් සමගයි. එලෙස එතනෝල් ආනයනය තහනමත් සමග මෙම සීනි සමාගම විශාල ලෙස ලාභදායි වුණා. එහි ප්‍රතිඵල තමුන්නාන්සේලාට මේ වෙනකොට ලැබිලා තිබෙනවා සහ ලැබෙමින් තිබෙනවා. මේ ආයතන ලාභ ලබනවා නම් සේවක මහතුන්ට සහ ගොවි මහතුන්ට ලබා දිය හැකි උපරිම සහන ලබා දිය යුතු බව මිට පෙරද මා පාලන අධිකාරිය වෙත පැවසුවා.

මේ ගම් පළාත් වල සමාජ සුභ සාධන කටයුතු තිබෙනවා නම් එය උපරිමයෙන් ඉෂ්ඨ කළ යුතුය. එවිට එහි ප්‍රතිඵල උක් වගාවටත් ලැබේවි. අද උක් වගාවෙදි ගොවි මහතෙකුට මෙට්‍රික් ටොන් එකකට රුපියල් 10000ක් ලැබෙනවා. එය පසු ගිය වසර තුනක කාලය තුළ දෙගුණ වෙලා තිබෙනවා. මේ ආයතනය දියුණුවෙලා ගිය වසරේ රු බිලියන 2.5 ක ලාභයක් ලබන තත්වයට පරිවර්තනය වෙලා තිබෙනවා. රටේ බහුතර රාජ්‍ය ආයතන පාඩු ලබන විට මෙම ආයතනය ලාභ ලබන සේවක සුභ සාධනය කරන මහ ජනතාවට පිහිට වෙන ආයතනයක් වෙලා තිබෙනවා.

එම ආයතන රැක ගැනීම අපේ යුතුකම ලෙස අප සලකනවා. පසු ගිය දවස් වල ඇති වුණු ගැටළුකාරී තත්ත්වයන් සමග මෙම ආයතන පුද්ගලීකරණය වේවි යන ලෙසින් මතුවූ සැක සංකා සමග අපට ඒ වෙනුවෙන් සටන් කරන්න සිදු වුණා. අපේ ඒ ඉල්ලීම් වලට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් සාවධානව ඇහුම්කන් දුන්නා. ඒ විතරක් නෙවෙයි එතුමාගේ පැත්තෙන් එතුමා පුළුවන් අයුරින් ඊට මැදිහත් වුණා. රට වසර තුනක කොරෝනා වසංගතයෙන් සහ ආර්ථික අපගමනයෙන් පසු නැවත ඉදිරියට ගමන් කරන මොහොතක අප රටට නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දිය යුතුය. ඒ අනුව අනාගතවාදීව මේ සම්පත් අප ආරක්ෂා කළ යුතුය.ි”

ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගිය දා සෙවණගල සීනි සමාගමේ පැවති 2023 වර්ෂයේ දෙවන උක් ඇඹරුම් වාරය ආරම්භ කිරීම සහ උක් ගොවීන්ට මහවැලි ඉඩම් අවසර පත්‍ර ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස