බීලා හමාරයි… මත්පැන් සමාගම 5ක බලපත් අහෝසියි…!

November 13, 2024 at 2:46 pm | by emanisa.lk

ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වනදාට පෙර ගෙවීමට අපොහොසත් වුවොත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කරයි.

සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (13) කැඳවූ අවස්ථාවේදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම් දීම සිදුකළේය.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම, රෝයල් ඩිස්ටිලරිස් ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 05ක් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවය.

මෙම සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බවත් නඩු වාර්තාවේ සඳහන් වී තිබේ. පෙත්සම්කරුවන් කියා සිටින්නේ, වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම නිසා ජාතික අර්ථිකයට විශාල අගතියක් සිදුවී ඇති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *