බාල ගල් අඟුරු පාඩුව සමාගම් දඩයෙන් පියවන්න බෑ… රටට පාඩු වෙන එක වළක්වන්නත් බෑ…! – බලශක්ති ඇමති…

November 4, 2026 at 6:22 pm | by emanisa.lk

ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ආනයනය නිසා සිදුවූ පාඩුව සමාගමට දඩ මුදල් පනවා සම්පූර්ණයෙන් අයකරගත හැකි යැයි තමන් නොකී බව බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය නිසා රු. බිලියන 15.765ක පාඩුවක් සිදුව ඇති අතර අදාළ සමාගමෙහි රු. බිලයන 6.869ක මුදලක් රඳවා ගෙන ඇති බවයි.

“මම පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශයේ අරමුණ වෙන්නේ මේ ගල් අඟුරුවල ප්‍රමිතිය නිසා කිසිම ගැටලුවක් පැනනැඟුණේ නැහැ, අලාභයක් සිද්ධ වුණේ නැහැ, ඒක අපි සමාගම්වලින් අය කරගෙන තියෙනවා කියන අදහස දෙන්න නෙවෙයි.

මේ ගල් අඟුරුවල ප්‍රමිතිය නිසා ගැටලුවක් පැන නඟිනවා. ඒක නිසා සමස්තයක් හැටියට පාඩුවක් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බැහැ. හැකිතාක් ප්‍රමාණයක් අපි මේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයූ සමාගම්වලින් අයකර ගැනීම සඳහා කටයුතු කරනවා.”

සමාගම සිය රැඳවුම් ගාස්තු නැවත ලබා ගැනීමට අධිකරණයට යනු ඇති හෙයින් අදාළ මුදල 100%ක් ලංකාවට හිමි වේ යැයි නොසිතිය යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.

පසුගියදා (02) දෙරණ නාලිකාවේ 360 දේශපාලන සංවාදයට එකතු වෙමින් ඔහු මේ බව කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස