බාල ගල් අඟුරු නිසා නොරොච්චෝල බිඳ වැටිය හැකියි.. කිසිම යන්ත‍්‍රයකින් 300MW හදන්න බෑ….ඉතිහාසයේ කවදාවත් මෙහෙම වුණේ නෑ …! – විදුලි ඉංජිනේරු සංගමය..

February 26, 2026 at 1:14 pm | by emanisa.lk

නොරච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් බලාගාරයේ උපරිම ජනන ධාරිතාව ලබා ගැනීමට බරපතල බාධා එල්ල වී ඇති බව විදුලි ඉංජිනේරු සංගමයේ විධායක සභික දුලාන් සපුතන්ත‍්‍රී ප්‍රකාශ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට ගෙන්වා ඇති ගල්අඟුරුවල පවතින ගුණාත්මකභාවයේ අඩුවීම හේතුවෙන් බලාගාරය සතු උපරිම ධාරිතාව වන මෙගාවොට් 300 කරා ළඟා වීමට නොහැකි තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවයි. මෙහිදී පළමු ජනන යන්ත්‍රයට සාපේක්ෂව තුන්වන ජනන යන්ත්‍රයේ ධාරිතාව ලබා ගැනීමේදී කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවද ඔහු පවසයි.

තමා මෙහි වසර අටකට අධික කාලයක් සේවය කරන බවත් ඉතිහාසයේ කිසිම අවස්ථාවන එක් යන්ත‍්‍රයකින් මෙගාවොට් 300ක් නිෂ්පාදනය කිරීමට නොහැකි ගල් අගුරු මෙරටට ගෙන්වා නැති බවත් දුලාන් සපුතන්ත‍්‍රී අවධාරණය කරයි.

මෙම තත්ත්වය හුදෙක් විදුලි නිෂ්පාදනය අඩුවීමට පමණක් සීමා නොවී, බලාගාරයේ පද්ධති සහ උපකරණවලට ද දැඩි බලපෑම් එල්ල කළ හැකි බව ඔහුගේ අදහසයි. බාල ගල්අඟුරු භාවිතය නිසා බලාගාරයේ පද්ධතිවල හදිසි බිඳවැටීම් (Breakdowns) සිදුවීමේ අවදානමක් පවතින බවත්, එම බලපෑම ඕනෑම අවස්ථාවක සිදු විය හැකි බවත් හෙතෙම අවධාරණය කරති.

නොරච්චෝලේ බලාගාරයෙන් අපේක්ෂිත මෙගාවොට් ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වන විට, එම හිඟය පියවා ගැනීම සඳහා වෙනත් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවේ. ඒ සඳහා වැය වන අතිරේක පිරිවැය එවකට පවතින විදුලි ඉල්ලුම සහ මිල ගණන් (peak plant cost) අනුව තීරණය වන බැවින්, එය විශාල මූල්‍ය බරක් බවද ඔහු පෙන්වා දෙයි.

මෙලෙස සිදුවන අතිරේක පාඩුව බාල ගල්අඟුරු සැපයූ සමාගම්වලින් අය කරගන්නා දඩ මුදල් මගින් පියවා ගැනීමට ඇතැම් විට හැකි වුවද, සෑම අවස්ථාවකදීම එය සාර්ථක නොවන බවත් ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් රටේ විදුලි පද්ධතිය මෙන්ම ආර්ථිකය ද දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *