මතභේදාත්මක ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවට බාරදී ඇති වාර්තාවේ සඳහන්වේ.
කිසිදු නැවකින් මෙගාවොට් 300ක් නිෂ්පාදනය කළ නොහැකි වී ඇති අතර ඒවායේ අළු ප්‍රතිශතය සියයට එකසිය දෙකකින් වැඩි වී බව වාර්තාවේ දැක්වෙන බවද එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් ප්‍රකාශ කරයි.
මෙතෙක් අදාළ කිසිදු දඩ මුදලක් අයකරගෙන නොමැති අතර ඒ පිළිබඳව සිහිකැඳවමින් ඊමේල් පණිවිඩ පමණක් යවා ඇති හෙයින් වහාම දඩ මුදල් අය කරන්නැයි නිර්දේශ කළ බවද ඔහු පවසයි.
අඩු ගුණාත්මක ගල් අඟුරු භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීමෙන් සිදුවූ සැබෑ මූල්‍ය අලාභය ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යටිතල පහසුකම් සහ උපායමාර්ගයක සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව මහජන උපයෝගීතා කොමිසමට මීට පෙර උපදෙස් දී තිබිණ. මේ අතර ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිත කිරීම හේතුවෙන් නොරොච්චෝල ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍රවලට හානි සිදුවිය හැකි බව බලශක්ති විශේෂඥයෝ පසුගියදා අනතුරු ඇඟවූහ.