බන්ධනාගාර ආරක්ෂාව විශේෂ කාර්ය බලකායට!

February 1, 2019 at 8:40 am | by admin

වැලිකඩ පිහිටි බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ලබාදෙන ලෙස ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු වෙත ලිපියක් යොමු කරමින් අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබේ. මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය බන්ධනාගාරවලට ගෙනයාම වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවන ලෙස බන්ධනාගාර අමාත්‍යාංශය ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ කාන්තා බන්ධනාගාරය, කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාර රෝහළ යන ස්ථානයන්හි පිටත රාජකාරී සඳහා විශේෂ කාර්ය බලකාය යෙදවීමට අපේක්‍ෂා කෙරේ. එමගින් පිටත සිට පැමිණෙන පුද්ගලයන් සහ ඔවුන් රැගෙන එන ආහාර මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද බන්ධනාගාර පරිශ‍්‍රයට ඇතුළුවීමේදී දැඩි පරීක්‍ෂාවකට ලක් කිරීම අරමුණ වී තිබේ.

දැනට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ පමණක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් රාජකාරි සඳහා අනියුක්ත කර තිබේ. ඊට එරෙහිව රැඳවියන් ආහාර ප්‍රතික්ෂේප කරමින් විරෝධතා කළ අතර ඒ සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහාය ලැබුණු බව වාර්තා විය.

කෙසේ වුවද 2012 වසරේ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ ගැටුමකට හමුදාව මැදිහත් වීම නිසා මහත් ආන්දෝලනයක් ඇති වූ අතර එය එවක ආණ්ඩුවට බෙහෙවින් අවාසි සහගත විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස