බටලන්ද වාර්තාවේ ජවිපෙ දරුණු ත්‍රස්තවාදය ගැන මිස මා ගැන නෑ…! – රනිල්…

March 16, 2025 at 12:56 pm | by emanisa.lk

1987 ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් නිර්මාණය කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය, මහවැලියේ සිට කොළඹට විදුලිය සම්ප්‍රේෂණය කළ මධ්‍යස්ථානය සහ වෙළඳ කලාපය ඇතුළු ආර්ථික මර්මස්ථානවල ආරක්ෂාවට යුද හමුදාව යෙද වූ බවත් ආරක්ෂක අංශ සඳහා නවාතැන් ගැනීමට බටලන්ද පොහොර සංස්ථාවේ හිස්ව පැවැති නිවාස ලබා දුන් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

එකල සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා ඝාතනය කළ බවත් ඉහත නිවාස ලබා දුන්නේ ආරක්ෂක ලේකම් රංජන් විජේරත්නගේ ඉල්ලීම මත බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි. ඒ අනුව එහි හිස්ව පැවති නිවාස කැලණි පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩට ලබා දුන් බව ද ඔහු පවසයි.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට එවක ආණ්ඩුව කටයුතු කළ අතර 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ තමන්ට දේශපාලන වශයෙන් මඩ ගැසීම සඳහා මෙම කොමිසම පත්කළ බවට ද හිටපු ජනාධිපතිවරයා චෝදනා කරයි.

එහි තමන්ට එල්ල වී ඇති එකම චෝදනාව පොලිස්පති හරහා නොගොස් කැලණි පොලිස් අධිකාරීවරයාට නිවාස ලබා දීම බවත් සෙසු කිසිදු චෝදනාවක් තමන්ට අදාළ නොවන බවත් ඔහු අවධාරණය කරයි.

ජවිපෙ එකල සිදු කළ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා සහ එහි පසුබිම ද මෙම කොමිසම් සභා වාර්තාවේ ඇතැයි ද එය වර්ෂ 2000 දී සභාගත කළ ද ජවිපෙ පවා ඒ ගැන කිසිදු අවස්ථාවක විවාද නොකළ බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

බටලන්ද වාර්තාව ගැන අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *