බංග්ලාදේශය තවමත් අරාජිකයි… අරගලකරුවෝ මහා සංහාරයක… හෝටලයක 24ක් පණ පිටින් දැවේ…!

August 7, 2024 at 3:28 pm | by emanisa.lk

බංග්ලාදේශ අරගලකරුවන් විසින් එරට හෝටලයකට ගිනි තැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මරුමුවට පත්ව තිබේ.

රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ආරම්භ වී ආණ්ඩු විරෝධී කැරැල්ලක් බවට පරිවර්තනය වූ බංග්ලාදේශ විරෝධතා අතර පසුගියදා අගමැතිනී ෂෙයික් හසීනා ඉල්ලා අස්ව රටෙන් පළා ගියාය.

ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමකට අනුව එරට පාර්ලිමේන්තුව ද විසුරුවා හැරුණු අතර, හමුදා පාලනයෙන් තොර අන්තර්වාර රජයක් පත්කිරීමටත් කටයුතු කර තිබුණි.

ඒ අනුව නොබෙල් සාම ත්‍යාගලාභී 84 හැවිරිදි මොහමඩ් යුනුස් එරට අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකවරයා ලෙස පත් කෙරුණු අතර එම තීරණය ගෙන තිබුණේ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන්, හමුදා ප්‍රධානීන් සහ ශිෂ්‍ය නායකයින් අතර ඇතිකරගත් එකඟතාවකට අනුවය.

කෙසේ වුව ද රට තුළ පවතින නොසන්සුන් තත්ත්වය තවමත් පහව ගොස් නොමැත. අරගලකරුවන් ෂෙයික් හසීනාගේ අවාමි ලීගයේ නායකයෙකුට අයත් හෝටලකට ගිනි තැබීමෙන් එහි සිටි 24 දෙනෙකු පණ පිටින් පිළිස්සී මියගොස් ඇති අතර ඉන් බහුතරය එහි ලැගුම්ගෙන සිටි පිරිසකි.

හින්දු වැසියන්ගේ නිවාස සහ දේවස්ථාන ඇතැම් ප්‍රචණ්ඩකාරී පිරිසගේ ප්‍රහාරයට ලක්වන අතර රට තුළ පවතින ගැටුම්කාරී වාතාවරණය මේ වන විට ජාතිවාදී ස්වරූපයක් ගෙන ඇත්තේ එරට වෙසෙන සුළුතර හින්දු ප්‍රජාව ඉලක්ක කරගනිමිනි.

බංග්ලාදේශයේ දෛනික කටයුතු මේ වනවිට අඩපණව ඇති අතර ශිෂ්‍ය ක්‍රියාකාරීන් මහා මාර්ගවල රථවාහන පාලන කටයුතු සිදුකෙරෙනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *