මාර්ග නීති කඩකරමින් පොලිස් අණ නොතකා පලා යමින් සිටියදී ගම්පහ උඩුගම්පොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ ඥාතියකු හෝ හිතවතකු නොවන බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙම කාන්තාව පෙරේදා (31) ගම්පහ පොලිසියේ රථවාහන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ තමන් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ නැඟණිය බව කියමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.
එහෙත් ඇගේ තර්ජන ගර්ජන ගණනකට නොගත් පොලිස් නිලධාරීන් විසින් රාජකාරියට බාධා කිරීම, රථවාහන වැරදි සහ අණ නොතකා යෑම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකාර කාන්තාව සම්බන්ධයෙන් විමර්ශන කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඇගේ සැමියා සහ රන්මල් කොඩිතුවක්කු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ එකට අධ්‍යාපනය හදාරා ඇති බවයි. එහෙත් ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැන හඳුනන කාන්තාවක් නොවන බවද අනාවරණය වී තිබේ.
සැකකාර කාන්තාව ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර අද (03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මෙම කාන්තාවගේ නොමනා හැසිරීම නිසා රන්මල් කොඩිතුවක්කු දැඩි අපහසුතාවට ලක් වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේද ඊට විශාල ප්‍රචාරයක් ලබාදී තිබිණි.
සැකකාර කාන්තාවගේ මානසික මට්ටම පරීක්ෂා කිරීමට මහෙස්ත්‍රාත්වරයාගේ අවසරය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද පොලිස් ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.