පොලිස් සහ ඉඩම් බලතල පළාත් සභාවලට දෙන්න ජනාධිපති කාගෙන්වත් අහන්න ඕන නෑ…! – ඩිලාන්..

August 3, 2023 at 3:08 pm | by emanisa.lk

අවංකවම බලය බෙදීමට කිසිවෙක් උනන්දුවක් දක්වනවා නම් ඉක්මනින්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව නිදහස ජනතා සභාවේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඔහු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය මහ කොමසාරිස්වරයා අද (03) මුණගැසීමෙන් පසුවය.

“අපි කණ්ඩායමක විදිහට සෑම තානාපති කාර්යාලයක්ම, මහ කොමසාරිස් කාර්යාලයක් වෙතම යන්න තීන්දු කළා. එහි පළමු පියවර විදිහට තමයි අද ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා මුණ ගැහෙන්න තීරණය කළේ. මොකද අපි කල්පනා කරනවා ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන්නේ ලොකු අක්කා සහ පොඩි මල්ලී වගේ සහසම්බන්ධයක්.

මොකද ලොකු අයියා සාමාන්‍යයෙන් පොඩි මල්ලිලාව පොඩි කරන්න බලනවනේ. හැබැයි ලොකු අක්කා එහෙම නැහැ. එයා පොඩි මල්ලිලා බලා ගන්නවා. ඒ නිසයි අපි ඉන්දීය මහ කොමසාරිස්තුමා මුණගැහෙන්න ගියේ. අපි දෙරට අතර යහපත් සම්බන්ධතාව දිගටම පවත්වාගෙන යන්න ඕන කියලා අපි විශ්වාස කරනවා.

අද හමුව ඉතාමත් සාර්ථකයි. අපි විවිධ මාතෘකා පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන් අපි මහ කොමසාරිස්තුමාට කිව්වේ බලය බෙදාහැරීමට කලින් මැතිවරණ තියන්න කියන එක. බලය බෙදන්නේ කොහේටද මහජන නියෝජිත ආයතන නැතුව. ඒ නිසා අපේ යෝජනාව වුණේ මුලින් මැතිවරණ පවත්වන්න කියන එක.

පළාත් සභා ඡන්දය නොතියා ආණ්ඩුකාරවරයා පත් කරන්නේ ජනාධිපතිවරයා නම් කාටද බලය බෙදන්නේ. කොහොමද බලය බෙදන්නේ. මම වගේ කෙනෙක් හිතන්නේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට ඇතුළත් පොලිස් සහ ඉඩම් බලතල දෙන්න කාගෙන්වත් අහන්න ඕන කමක් නැහැ කියලයි. හැබැයි දෙන්නේ කාටද, කොතෙන්ටද. දෙන්නනම් පළාත් සභාවක් තියෙන්න ඕනේ.

ඉතින් මේ පිළිබඳව අපි ඉන්දීය මහ කොමසාරිස්තුමාට පැහැදිලි කරලා පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම පැහැදිලි කළා. එතුමාලගේ පැත්තෙන් අදහසක් දැක්වුවේ නැහැ අපි කියන කාරණා සඳහා ඇහුම්කන් දුන්න. හැබැයි ඉතින් අපි කව්රුත් දන්නවා ඊළඟ අවුරුද්දේ ඉන්දියාවෙයි අපේ රටෙයි මැතිවරණ තියන බව. ඉන්දියාව 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන බොහොම උනන්දුවෙන්, සමීපව බලපු රටක්.

මම වගේ කට්ටිය හිතන්නේ අපි ඉදිරියේ දීත් ඉන්දියාවෙන් තවදුරටත් උදව්ගන්න බලාපොරොත්තු වෙනවනම්, අපි අවංකවම බලය බෙදීම ගැන හිතනවා නම් ඉක්මනින්ම පළාත් සභා මැතිවරණය තියලා ඒ ව්‍යවස්ථාපිත බලය බෙදීම කියන කාරණය පළාත් සභා වෙත ලබා දෙන්න ඕනේ කියන එක.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *