මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වය සමඟ ලොව පුරා රටවල් රැසක ඉන්ධන මිල ඉහළ ගොස් ඇති අතර දකුණු ආසියාවේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමූ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
රජය විසින් මෙරට ඉන්ධන මිල 36% ක දැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති අතර, මෙය කලාපයේ සෙසු රටවල මිල ඉහළ දැමීම් හා සැසඳීමේදී ඉතා ඉහළ අගයකි. සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාව 9% කින්ද, පකිස්ථානය 20% කින්ද, බංග්ලාදේශය 18% කින්ද, නේපාලය 11% කින් සහ මාලදිවයින 5% කින් පමණක් ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඉන්ධන මිල මෙලෙස අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට ප්‍රවාහන ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල ගණන් දරුණු ලෙස ඉහළ යමින් පවතී. බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට ලෝක වෙළඳපොළේ මිල වෙනස්වීම් පමණක් නොව, මෙරට බලශක්ති ක්ෂේත්රයේ පවතින අක්‍රමිකතා ද බලපා ඇති බවයි.
විශේෂයෙන්ම මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් බාල ගල් අඟුරු වංචාව හේතුවෙන් ගල් අඟුරු බලාගාරවලින් ලැබිය යුතු දායකත්වය අඩුවීම නිසා ඇති වූ බලශක්ති හිඟය පියවීමට ඩීසල් වැඩිපුර යොදා ගනිමින් විදුලිය උත්පාදනය කිරීමට සිදුව තිබේ. විදුලි උත්පාදනය සඳහා වැයවන අතිවිශාල පිරිවැය ඉන්ධන මිල හරහා වක්‍රව ජනතාවගෙන් අයකර ගැනීම බරපතළ තත්ත්වයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති.
මේ අතර පවතින මෙම ආර්ථික පීඩනය හමුවේ රජය කඩිනම් සහනදායී වැඩපිළිවෙළක් සකස් නොකළහොත් ඉදිරියේදී මෙරට ආර්ථිකය තවත් දරුණු පසුබෑමකට ලක්වීමේ අවදානමක් පවතින බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.