පී.බී. ජයසුන්දර රටේ ආර්ථිකය වනසනවා….! ජනපතියි අගමැතියි පී.බීගේ රූකඩ විතරයි…! – අනුර….

November 26, 2021 at 2:17 pm | by emanisa.lk

විස සහිත ටීඑස්පී පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව බවත් මේ පිටුපස ඇතැම් ඇමැතිවරුන් ද සිටින බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.

අද (26) පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

විස පොහොර නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා සිටි සාකච්ඡාවකදී බවත් මේ විස පොහොර තොගයේ ආසනික් කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රාම් 38 තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ලෙඩ් කිලෝවකට මිලි ග්‍රාම් 49ක් තිබී සොයාගත් බව ද ඔහු පැවසුවේය.

මේ ජාවාරමට සම්බන්ධවුණු ඇමතිවරුන්, නිලධාරීන් ගණනාවකගේ මල්ල තරවූ බව පැවසූ අනුර දිසානායක ආණ්ඩුවේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය මෙය බව ද සඳහන් කළේය.

කාබනික පොහොර ගැන තිබූ ඉතාමත් පැහැදිලි නිරවුල් විශ්වාසය මේ වැඩපිළිවෙළ නිසා විනාශ වූ බවත් රටේ කෘෂිකර්මාන්තය මෙම අර්බුදය නිසා අගාධයකට ඇද වැටුණු බව ද අනුර කුමාර දිසානායක කීවේය.

රටේ ආර්ථික විනාශය පිටුපස සිටින්නේ පී. බී. ජයසුන්දර බව පැවසූ හෙතෙම අද රටේ සිටින්නේ පී. බී. ජයසුන්දර පිටුපස නැටවෙන ජනාධිපතිවරයකු බව ද සඳහන් කළේය. ඒ වගේ ම රටේ ඉන්නේ පී. බී. ජයසුන්දරගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරන අගමැතිවරයකු බව ද ඔහු කීවේය.

පීබීගේ එකම සුදුසුකම පවුලකට සල්ලි දෙන එක යැයි ද පවුලේ අය සල්ලි ඉල්ලුවම ඔහු කොහෙන් හරි හොයා ඒ මුදල් ලබා දෙන්නේ යැයි ද හෙතෙම පැවසුවේය.

ඔහු රටේ අනෙක් ප්‍රශ්න ගැන නොබලන බවද දිසානායක මහතා පැවසීය. මේ ගනුදෙනු පිටිපස ජයසුන්දර සිටින බවත් ඔහු මෙම පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් මහජන බැංකුවට අවස්ථා දෙකකදී කතා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස