පිල්ලෙයාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්… මිලියන සියයක වන්දියකුත් ඉල්ලයි…!

May 16, 2025 at 2:02 pm | by emanisa.lk

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක සහ නීතිපතිවරයාය.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 8 වනදා සිය පක්ෂයේ සංවිධාන කටයුතුවලට සහභාගි වෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තමන්ව මඩකලපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති සුභ්‍රමණියම් රවින්ද්‍රණාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින බව දැනගන්නට ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ තමාට නිදා ගැනීමට හෝ ප්‍රමාණවත් පහසුකම් නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

ඊට අමතරව තමන්ට නීතිඥවරුන් හමුවීම සඳහා ප්‍රමාණවත් අවස්ථාවක් නොලැබෙන බවත් පිල්ලෙයාන් ඉදිරිපත් කර ඇති පෙත්සමේ සඳහන් වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් තමන්ව රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව තමන්ට නීතිඥවරුන් හමුවීමට තිබෙන අවස්ථාව අවහිර කිරීම තුළින් සිය මූලික අයිතීන් කඩවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, සිය මූලික අයිතීන් කඩවීම වෙනුවෙන් රුපියල් මිලියන සියයක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා පිල්ලෙයාන් සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *