බුදු මුවින් ගලා ගිය අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වර රැඳි තුන් ලොව සනසා පෙරළා වදාහළ දම්සක කැරකුණු ඇසළ මාසය යනු උත්සව මාසයයි. සකල ලෝ වැස්සන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී ය.
සිදුහත් කුමරුන් විමුක්තිය සොයා ගිය ගමනේ දී අත්තකිලමථානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙකෙහි ගැලී සිටීමට සිදුවිය. එහෙත් සසරෙන් එගොඩවීමේ ආර්ය මාර්ගය ඉන් පසක් කරගන්නට නොහැකි විය. ඉන් අනතුරුව බෝමුල දී අවබෝධ කරගත් ධර්මය සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නමැති මැදුම් පිළිවෙත දේශනා කරන ලද්දේ අද වැනි දිනකය.
මේ මඟින් හේතු ඵල වාදය මුල්කොට මධ්‍යම ප්‍රතිපදාව ඇතුළත් උතුම් බෞද්ධ දර්ශනය දම්සක් පැවතුම් සුතුර ලෙසින් දෙසා, වදාළ නිසා උතුම් බුදුදහම ලොව පහළ න දිනය ලෙස මෙය හැඳින්වේ.
බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බලා දඹදිව කපිලවස්තුපුරයේ සුද්ධෝන රජුගේ බිසව් මහාමායා දේවියගේ කුසයේ පිළිසිඳ ගැන්ම සිදුවූයේ ද ඇසළ පසළොස්වක පොහෝ දිනදී ය.
එකුත් තිස්වියේදී සතර පෙර නිමිති, (ලෙඩක්, මහල්ලෙක්, මළ මිනියක් හා ශ්‍රමණ රුවක්) දැකීමෙන් මෙලොවේ අස්ථිර භාවය ගැන අවබෝධ කරගත් සිදුහත් කුමරුන්, ගිහිගෙය අතහැර , ශෝදරා දේවිය ද, රාහුල පුතුද මාලිගාවේ තනිකොට, සසරෙන් මිදීම සඳහා සත්‍යය ගවේෂණය කොට නිවන් මග හෙළි කරගන්නට රජගෙදරට ‘ආයුබෝවන්’ කියමින් ‘මහා අභිනිෂ්ක්‍රමණය’ කරන ලද්දේ ද ඇසළ පුන් පෝය දිනකදී ය. රාහුල කුමරුන්ගේ උපත සිදුවුනේ මේ දිනයේදීමය.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහ රහතුන් වහන්සේලා එක්ව, අජාසත් රජ සමයේ දී ප්‍රථම ධර්ම සංගයනාව පවත්වන ලද්දේ ද, ඇසළ පුන් පොහොය දිනකදීය.
බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය විසින් ප්‍රථම ‘ඛණ්ඩ සීමාව’ සම්මත කරන ලද්දේත්, අරිෂ්ඨ කුමරු ප්‍රධාන පිරිස මහණ උපසම්පදාව ලබාගන්නේත් ඇසළ පුර පසළොස්වක දිනකදීය.
රත්මලාන පරමධම්ම චේතිය පරිවේනාධිපති මාඉටිපේ විමලසාර මහා ස්ථවිර