පිට රටවල සැඟවූ ධනය හොයන්න ස්විට්සර්ලන්තයේ සහාය…!

January 25, 2025 at 3:14 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් පවසයි.

ඈ මේ බව පැවසුවේ, ඊයේ (24)ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වූ අවස්ථාවේ දී ය.

මෙරට වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කළ අතර ඒ සඳහා මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑ ම අවස්ථාවක සහාය ලබා දීමට ද එකඟ වුවාය.

ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමටත්, ‘Clean Sri Lanka’ වැඩපිළිවෙළට ලබා දිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කළේ ය.

උතුරේ සංවර්ධනය, ජාතික සමගිය සහ පවතින අනෙකුත් සමාජ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට සහාය දැක්වීමට හා අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බව ද ස්විට්සර්ලන්ත තානාපතිනිය වැඩි දුරටත් පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *