විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයට ජනතාව තෝරාපත් කරගත් ජනාධිපතිවරයා අසීරුතාවයට පත්කිරීමට දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනය විසින් ලබාදුන් සාවද්‍ය තොරතුරු හේතුවූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය පවසයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සංඛ්‍යා දත්ත, තොරතුරු සියල්ල දෙපාර්තමේන්තුව සතුව තිබිය දී රජයේ සමස්ත කාර්යභාරයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ආවරණය කළ යුතු විෂයභාර අමාත්‍යවරයාට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධව සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අනාවරණය නොකළ බවයි.
පැරණි දේශපාලන අධිකාරියේ හිතවත්කම් මත තනතුරු ලබාගත් ඉහළ කිහිපදෙනෙකුගේ අත්තනෝමතික කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බව වෘත්තීය සමිතියක් ලෙස තමන් පිළිනොගන්නා බව ද අදාළ නිවේදනය මඟින් පෙන්වා දෙයි.
එනිසා මහජනතාව අසීරුතාවයට පත්කළ එවැනි නිලධාරීන් කවුරුන් දැයි හෙළි කිරීම තම සංගමයේ වගකීම වන බවත්, ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කළ යුතු බවත් අදාළ නිවේදනයේ තව දුරටත් දැක්වේ.